my ads

Tuesday, June 12, 2018

දේශපාලන ඝාතනය - 01



"සර් නියෝජ්‍ය  ආරක්ෂක  ඇමතිතුමාට  වෙඩි  තියලලු..." 

පොලිස්  පරීක්ෂක  රංජිත්  සිය තේ  කෝප්පය  රැගෙන  නවාතැනේ  ආලින්දයට  පැමිණෙන  විට ඔහුගේ  ආරක්ෂාව භාරව සිටි  සැරයන්  ජයදේව  පැවසුවේ කැළඹුණු  මුහුණෙන් යුක්තවය.

"කවුද ජයදේව  ඩිපියුටි මිනිස්ටර් හිටියේ?"

"සර්  කළුතරින්  චන්දෙ  ඉල්ලුවේ,  දයානන්ද වරාගොඩ මහත්තයා ..."  

රටේ  ප්‍රධාන  පෙලේ  පොලිස්  නිලධාරියෙකු  වූ රංජිත්  පෙරේරා  නියෝජ්‍ය  ආරක්ෂක  ඇමතිගේ  නම නොදැන සිටීම  ගැන  මෙය කියවන  පාඨක ඔබ පුදුම  වුවත් , රංජිත්  රටේ  දේශපාලන වාතාවරණය  සත පහකවත්  අවධානයක්  දුන්නේ  නැත .
රංජිත්  අවිවාහකයෙක්  වූ  අතර  ඔහු සිය හතලිස් වෙනි උපන් දිනය  සමරුවේ  මීට සති කීපයකට  පෙරය.  හතර වන ඊළාම් යුද්ධයට සක්‍රීයව  දායක  වූ  රන්ජිත් එයින් පසු  පොලිස් විශේෂ  කාර්ය  බලකායට  සමු දී කොළඹ ප්‍රධාන පොලිස්  මුලස්ථානයේ  අපරාධ අංශයට  මාරුවක්  සදාගත්තේ සිය දෙමව්පියන් නිතර හමුවීමට හැකි නිසාය.


"සර්  කමිෂනර්ගේ  ඔෆිස්  එකෙන්.."

සැරයන්  ජයදේව  සිය උසස් නිලධාරියා  අතට නාද වෙමින් තිබු  ජංගම දුරකථනය  පෙන්වමින්  කිවේය .

"ගුඩ් මෝර්නින් සර් " 

 "රංජිත්  නිව්ස් එක දැක්කා  නේද?   "

"අනේ  නෑ  සර් මට  දැන් ජයදේව කිව්වේ,  ඇමතිතුමාට  තුවාලද ? "

"තුවාල  නෙමේ රංජිත්  මිනිහ එතනමයි , මැරෙන්නම තමයි තියල තියෙන්නේ මාත්  තම බොඩි  එක දැක්කේ නෑ .. ආරක්ෂක  ලේකම්තුමා  මේ වැඩේ  රංජිත්ට භාර  දෙන්න කිව්වා. එකයි  මම රංජිත්ට  කතා කරේ "

"සර් මේක  මං  භාරගන්නම් හැබැයි  අහිංසක මිනිස්සු පටලවන්න හැදුවොත් මම කේස්  එකෙන් අයින් වෙනවා"

"OK  රන්ජිත් මම ඉද්දි  ඒ වාගේ  දේවල්  වෙන්න ඉඩක් තියන්නේ නෑ "

"Thank You  Sir "



*****


සැරයන්  ජයදේව සහ  ප්‍රධාන පොලිස්  පරීක්ෂක  රංජිත්  රැගත්  නිල් පැහැති ටොයෝටා  ජීප්  රථය  විදුලි  වේගයෙන්  ගාලු  පාර  දිගේ  කොළඹ  කොටුව  දෙසට  ඇදෙන්නට විය.  රථය  කොල්ලුපිටිය  මං සංධියේ  නතර කරවූ  රංජිත්  පාර  අයිනේ  තේ කඩයකින්  සිගරට්  පැකට්ටුවක් මිල  දී  ගත්  අතර  කඩයෙහි  හිමිකරු  වූ , ප්‍රියමනාප  පෙනුමක් සහිත අස්ලම්  අයියා  සමග  විනාඩි  දහයක්  පමණ  සුහද   කතා  බහක  නිරත  වීමටද ඔහු  අමතක නොකළේය.

"නලින්  පිටිපස්සේ ගේට්ටුව ළඟ නතර කරන්න, දෙන්නම  වෙපන්  රෙඩි  කරගෙන  ඉන්න.."  

රංජිත්  සිය සගයන්ට  අණ  කරේය.  

කොල්ලුපිටිය සිට බොරැල්ල  දක්වා දිවෙන  ප්‍රධාන  මාර්ගයේ දකුණු පැත්තට  තිබූ  අතුරු පාරක  පිහිටා  තිබූ  අමාත්‍ය  නිල නිවසේ  පිටිපස ගේට්ටුවෙන් රංජිත් ඇතුළු  වූ අතර ගේට්ටුව  ආරක්ෂාවට  සිටි පොලිස්  හා  යුධ  හමුදා  විශේෂ  කාර්ය බලකා සාමාජිකයන්ට සිය පොලිස්  හැඳුනුම්පත පෙන්වමින්   සිය  නිරීක්ෂණ  කටයුතු පටන් ගත්තේය. 


තරමක්  විශාල  ඉඩමක  පිහිටි  ඇමති  නිවස  ඉදිරියෙන්  හා  පිටුපසින් මීටර  විස්සක  දිගින් යුතු  සරුවට  වැඩුණු  තණ  පලස්  දෙකකින් යුත්තු විය . ඉඩමේ මායිම වූ  මීටර හතරක් හෝ පහක් උසැති සුදු පැහැති තාප්පය  සම්පුර්ණයෙන්ම වාගේ   වැසී  යන පරිදි විවිධ  කාලයන්හි  රෝපණය කරන  ලද විවිධ ගස් වර්ග විය. නිතර ගැවසෙන ආරක්ෂක  අංශ සාමාජිකයන්ගේ  සහ සේවකයන්ගේ  ඇස් වලින් ගැලවී  නිල නිවසට ඇතුළු  වීම ඉතා අසීරු  කාර්යයක්  බව තේරුම් ගත රංජිත් කෙලින්ම පිටුපස දොරින් නිල  නිවසට ඇතුළු  විය.
























No comments:

Post a Comment