my ads

Wednesday, September 9, 2015

සීතල යුද්ධය ( Part 2 )

කල්මඩු කුලම් 

ඉරණමඩු වැව ළඟ සිට කිලෝ මීටර් 20ක් පමණ දකුණට වන්නට පිහිටි කල්මඩු කුලම් නමැති පාලුවට ගිය වැව පිහිටා  තිබුණි. ඒ අසල පිහිටි කුඩා නිවසක ජෙහාන්ට සහ කුමාරට නවාතැන්  ලැබුණි. ඉරණමඩු වැව අසලම නවතන් ලැබුණානම් වැඩ හොඳයයි  ජෙහාන්ට සිතුනත් එක අතකට මෙතන නිදහස්ය. පෙර දින LTTE  සාමාජිකයෙක්ට ගෝල්ඩ් ලීෆ් පැකට් එකකකට හුවමාරු කරගත් ශාක සාර සුරුට්ටුවක් ඔතාගත් ජෙහාන්  කල්පනාවට වැටුණේය. 

මේ කෙහෙල්මලට සතියක් හිර වීම ඔහුට කෙසේවත් දරාගත නොහැක. අනෙක් අතට මේ විසා  එක හරි ගියහොත් ඔහුට ලැබෙන ගතමනාව කොළඹදී  ඔහු කරන වැඩ  දහයකින්වත් උපයාගැනීමට බැරි බවත් ඔහු හොඳින් දැන  සිටියේය.

"සර් බයිට් එකට තමයි මුකුත් නැත්තේ.."

කුමාරගේ කටහඬින් ගැස්සී ගිය ජෙහාන්ට  කුමාර දුටු විට සිනා පහල විය. කුමාර අමුතුම ජොකියෙක් බව ඔහුට වැටහෙමින් තිබුණි. ඊයේ බයේ ගැහෙමින් සිටි කුමාර අද වනවිට මේ ගමන පුංචි පහේ විනෝද ගමනක් කරගෙන සිටියේය. ඔහු ඇතැම් විට ඔවුන්ගේ ආරක්ෂාවට සිටි LTTE  සාමාජිකයන් සමග කැඩිච්ච දෙමළෙන් හා  සිංහලෙන් පැය ගණන් කයිය ගසමින් සිටියේය.මේ කෙහෙල්මල් යුද්ධය කිසිම කමකට නැති එකක් බව ජෙහාන් තදින්ම විශවාස කරේය. එය තනිකරම දෙමළ  හා  සිංහල ප්‍රභූන්ගේ බලය සඳහා සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න යොදාගැනීම හේතුවෙන් ඇති වුවක් බව කලකට ඉහතදී සිය පියා මෙල්බර්න් හිදී  ඔහු සමග පැවසූ ආකාරය ඔහුට සිහි  විය.

"සර් වෙනදට ආවමත් මේ ගෙදරද ඉන්නේ ?"

"නෑ  නෑ  මම හිටියේ ඉරණමඩු වැව  ළඟ මන් හිතන්නේ මුන්ගේ මොකක් හරි වැඩක්  ඇති  එකයි මෙතන දෙන්න ඇත්තේ.. "

"හ්ම්ම්ම්.. එතකොට මේ බිස්නස් එකට ගොඩක් කල් ද? "

"අවුරුද්දක් වගේ වෙනවා මේ පැත්තේ  වැඩ  කරන්න අරන්, අනික දැන් කොළඹ මේ වැඩේ කරන අය වැඩියි කුමාර.. "


කොළඹින් ගෙනා  පරණ  අරක්කු බෝතලයෙන් බාගයක් ඉවරවීමට පෙර මහේන්ද්‍රන් පැමිණියේය. සිවිල් ඇඳුමෙන් සැරසුන ඔහුගේ පෙනුම වඩාත් ලං  වුයේ හෙට්ටි වීදියේ රත්තරං මුදලාලි කෙනෙකුට හෝ  දෙමළ දේශපාලකයෙක්ටය.

"ජෙහාන් ෆොටෝස් ටික තම අවේ නෑ  අනික මට සල්ලි රෙඩි  කරගන්ටත් ඕන"

"මට ප්‍රශ්නයක් නෑ  මිස්ටර් මහේන්ද්‍රන් හැබැයි දුවගේ පාස්පෝර්ට් එක එයාර් පොර්ට් එකෙන් චෙක්  කරද්දී අවුලක් වෙන්නේ නැත්තම් එච්චරයි."

"මේ ෆයිල් එකේ ඕන සේරම දේවල් තියනවා. ජෙහාන් කොළඹ ගියාම චෙක්  කරගන්න කෝකටත්.  මේක ඔරිජිනල් එකක්  හැබැයි."

"ප්‍රශ්නයක් නෑ මිස්ටර් මහේන්ද්‍ර මට දවස් දෙක තුනක් ඉන්න පුළුවන්.."

ජෙහාන් ඕනෑවට එපාවට උත්තර දුන්නේ කොටි අඩවියේ සිට වාද කිරීමෙන් පලක් නැති බව හොඳටම දන්නා නිසාය. අනෙක් අතට ඔහුට මහේන්ද්‍රන්  හරහා ලැබෙන අනෙක් සේවා දායකයින්ගේ ගොඩ සිහි කිරීමෙන් ඕනෑම දුකක් විඳ  හෝ  මේ කාර්යය  ඉවර කිරීමට ඔහු සිතා  ගෙන සිටියේය.

"මොකක්ද ජෙහාන් මහත්තය ඒ සද්දේ..."

කුමාර සිය කටහඬ අවදි කරේ මහේන්ද්‍රන් පිට වී යනවත් සමගය. ජෙහාන්ටත් නුපුරුදු ඒ  ඇසුනේ ඉරණමඩු වැව දෙසිනි.

"ට්‍රැක්ටරයක් වෙන්න ඇති බං  වරෙන් යමන් අරක ඉවරයක් කරලා නින්දක් දාමු.."  


No comments:

Post a Comment